සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පළමු අධ්යක්ෂ ජෙනරාල්වරයා වූයේ රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර මහතායි. හමුදා රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් නිරතුරුව පෙනි සිට හෙතෙම ඔවුන් අවමානයට හා අපහාසයට ගත් උත්සාහයන් දැඩිව හෙළා දකින ලදී. හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමමින් හා ඔවුන්ගේ භාර්යාවන් අවමානයට ලක් කරමින් නිපදවූ "යුධ චිත්‍රපට" ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ඒ පිළිබඳව වීරසේකර මහතා ලිපි ගණනාවක් පළ කළ අතර ඔහුගේ මතය වූයේ එම චිත්‍රපට නිර්මාපකයන්ගේ ආකල්පය රාජ්‍ය ද්‍රෝහීත්වයට සමාන වරදක් බවයි. ප්‍රකට ගත්කරුවකු ද වන හෙතෙම 'පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (15 වන ශත් වර්ෂය)', 'නූතන පරවි සන්දේශය' හා 'සාගරය සහ ගැහැණිය' යන පොත්වල කතෘවරයාය.
නැගෙනහිර නාවුක ප්‍රදේශයේ අණදෙන නිලධාරි ලෙස ඔහු කටයුතු කළ සමයේදී, බෞද්ධ සංවිධානයක් විසින් ත්‍රිකුණාමල නගරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කිරීමට අදාළව මතුවූ අර්බුදය හමුවේ එල්ටීටීඊ සංවිධානය නීතිය තම අතට ගනිමින් කටයුතු කිරීම වැළක්වීමට පෙරමුණ ගත්තේ වීරසේකර මහතාය. මෙම ගැටළුව සම්බන්ධයෙන් ඇතිවූ උග්‍ර මතභේදකාරී තත්වය හමුවේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඔහු වහා එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගත් අතර අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි නමින් නව තනතුරක් පිහිටුවා ඔහු එම තනතුරට පත්කරන ලදී.
ශ්‍රි ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉටුකළ විශිෂ්ඨ සේවාව අගයමින් රණ වික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ජනාධිපති පදවිප්රාප්ත පදක්කම, උතුර සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම සහ පූර්ණ භූමි පදක්කම සහ 50 වන නිදහස් සැමරුම් අනුස්මරණ පදක්කම ආදී සම්මාන සහ පදක්කම් ගණනාවකින් එතුමා පිදුම් ලැබීය.
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි, පළමු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල්, නාවික ව්‍යාපෘති හා සැලසුම් අධ්යක්ෂ, සේවා අධ්යක්ෂ ජෙනරාල් (පිරිස්, පුහුණු, ව්‍යාපෘති හා සැලසුම්, පරිපාලනය හා සුභසාධනය), උතුරු නාවික ප්‍රදේශය අණදෙන නිලධාරි, නැගෙනහිර නාවික ප්‍රදේශය අණදෙන නිලධාරි සහ දකුණ නාවික ප්‍රදේශය අණදෙන නිලධාරි තනතුරු දරා ඇත.
1993 වසරේදී සතුරු ග්‍රහණයට ලක්ව තිබූ පූනරින් ප්‍රදේශයට හමුදා ගොඩබැස්සවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී එහි සිරවී සිටි යුධ හමුදා සෙබලුන් 400ක පමණ පිරිසක් බේරා ගැනීම වෙනුවෙන් රණ ශූරත්වය සඳහා පිරිනැමෙන රණ වික්‍රම සම්මානයට ඔහු පාත්‍ර විය. උතුරු නාවික ප්‍රදේශයේ ආඥාපති ලෙස 2000 වසරේදී අද්මිරාල් වීරසේකර මහතා පත්කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යානා සහ වෙරළාසන්න මුර සංචාර යාත්‍රා බල ඇණියේ පළමු අණදෙන නිලධාරියා වූයේ ද එතුමාය. එල්ටීටීඊ සංවිධානයේ ළමා සොල්දාදුවන් පිළිබඳ සහ ජාත්‍යන්තර වගකිම් හා ශ්‍රී ලංකාෙව් ත්‍රස්තවාදය සහ ඉන්දියානු ජාතික ආරක්ෂාව කෙරෙහි එහි ප්රතීයමාන මැයෙන් ඔහු ජාත්‍යන්තර සමුළුවලදී ඉදිරිපත් කළ නිබන්ධන බොහෝ පැසසුමට ලක් විය.
රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුනේ කැඩෙට් නිලධාරියකු ලෙසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව් පෝට්හි, රෝඩ් අයිලන්ඩ්හි කීර්තිමත් නාවික යුධ විදුහලේ නාවුක කාර්ය මණ්ඩල පාඨමාලාව සහ ඉන්දියායේ නවදිල්ලියේ ජාතික ආරක්ෂක පාසලේ පාඨමාලාව ඇතුළු පාඨමාලා ගණනාවක් එතුමා හදාරා ඇත. බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට හා බෞද්ධ දර්ශනය පිළිබඳ දර්ශනපති උපාධියකට හිමිකම් කියන එතුමා එක්සත් රාජධානියේ ජලතරණ රාජකීය ආයතනයේ සාමාජිකයකු ද වන්නේය. හවායිහි ආරක්ෂක අධ්‍යයන සඳහා ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ මෙන්ම ඇ.එ. ජනපදයේ වොෂිංටන්හි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හා උපාය මාර්ගික අධ්‍යයනය සඳහා ගිණිකොණ දිග ආසියානු මධ්‍යස්ථානයේ ද එතුමා අධ්‍යාපනය හදාරා ඇත.
රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා