2021 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 දෙපාර්තමේන්තු දිනයට සමගාමීව අත් හා පාද අහිමි වූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 64 දෙනෙකුගේ දෛනික කටයුතු පහසුකර ගැනීමෙහිලා උපකාරීවීමේ අරමුණින් යුතුව කෘතිම අත් හා කෘතිම පාද ප්රදානය කිරීම අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 14 වන දින කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදි.
2009 වර්ෂයේ මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසු උතුරු ප්‍රදේශයේ දමිළ ජනතාවගේ ජීවනෝපාය ඉහළ නංවාලීමේ අරමුණින් යුතුව පුනරුත්ථාපනය කරන ලද තරුණ තරුණියන් මෙම දෙපාර්තමේන්තුව වෙත බඳවා ගෙන ඔවුන් රටට වැඩදායී පුරවැසියන් බවට පත්කිරීමට එවකට අතිගරු ජනාධිපතිව සිටි වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා එවකට ආරක්ෂක ලේකම්ව සිටි වර්තමාන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත 2012 වර්ෂයේ දී සැලකිය යුතු දමිළ තරුණ තරුණියන් ප්‍රමාණයක් කිලිනොච්චි, මුලතිව් හා විශ්වමඩු ප්‍රදේශයන්ගෙන් මෙම දෙපාර්තමේන්තුවට බඳවා ගෙන ඔවුන්ගේ නිවසට ආසන්නව ඇති කෘෂි ව්‍යාපෘතිවල රාජකාරි යොදවා රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කර ගන්නා ලදී.
මෙම භටපිරිස් අතරින් 64 දෙනෙකු පැවති යුධමය තත්වය මත අත් හා පාද අහිමිවී ඇති අතර, ඔවුන් වෙත මෙතෙක් රාජ්‍ය මට්ටමින් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් කෘතිම අත් හෝ කෘතිම පාද ලබා දිමක් සිදු නොවුන හෙයින් ඔවුන් විසින් සකසා ගෙන ඇති තාවකාලික කෘතිම අත් හා කෘතිම පාද උපයෝගි කර ගනිමින් තම දෛනික අවශ්‍යතාවන් සපුරා ගන්නා ලදි.
ඔවුන් වෙත කෘතිම අත් හා කෘතිම පාද සකසා ගැනීම සඳහා රාගම රණවිරු සෙවනේ කාර්ය මණ්ඩලයේ සහාය ලබා ගැනීම සඳහා යුධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගෙන් අධ්යක්ෂ ජනරාල්තුමා විසින් කළ ඉල්ලීමට අනුව යුධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය මඟින් කෘතීම අත් හා කෘතිම පාද සහනදායී මිලකට සකසා දීමටත්, අනුරාධපුර අභිමංසලින් කෘතීම අත් හා කෘතිම පාද සඳහා මිනුම් ලබාගැනීමටත් අවශ්‍ය කටයුතු සලසා දෙන ලදි.
මෙම කෘතිම අත් හා කෘතිම පාද සැකසීම සඳහා රු. 7,119,246.00 පිරිවැයක් වැය කිරීමට සිදුවූ අතර, එම මුදල් ආබාධිත සාමාජික සාමාජිකාවන්ගෙන් කිසිඳු අයකිරීමකින් තොරව දෙපාර්තමේන්තු පරිපාලන ගිණුම මඟින් ගෙවීමටත් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමා විසින් උපදෙස් ලබා දෙන ලදි.